Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

කොරෝනා පළමු රැල්ල මැඬලීමට නායකත්වය දුන් චරිත අතර එකල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහද සිටියේය. එකල ඔහු රටේ කෙතරම් ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේද කියනවානම් 2009දී යුද්ධය දිනූ සෙන්පතිවරුන්ට සුබ පතා බැනර් ප්‍රදර්ශනය කළා සේ අනිල් ජාසිංහ ඇතුළු පිරිසට ස්තුතිය පුද කරමින් රට පුරා බැනර් එසවුණි. කෙසේ නමුදු කොවිඩ් දෙවැනි රැල්ලේදී අනිල් ජාසිංහ කරළියට ආවේ නැත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ ඔහු කොරෝනා මර්දනයට යළි කැඳවන බව කීවද තවමත් ඒ බවක් පෙනෙන්නට නැත. මේ ඔහු ඒ ගැන මුල්වරට පත්තරයකට කියන කතාවය.

කොරෝනා පළමු රැල්ලේදී ඔබ රටේ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. ඔබගේ පෞද්ගලික තොරතුරු දැන ගන්නට පාඨකයන් කැමැති වේවි.

මම ඉපදුණේ මාතර කඹුරුපිටිය, නාරන්දෙණිය ගමේ. මගේ තාත්තා උප විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්.

ඉස්කෝලේ?

අම්මයි තාත්තයි අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මට විද්‍යාල කිහිපයකට යන්න සිද්ධ වුණා. කහගල කනිෂ්ඨ විද්‍යාලය, උපරතන කනිෂ්ඨ විද්‍යාලයේ හතර වසර දක්වා අධ්‍යාපනය ලැබූ මම ගාල්ල මහින්ද විද්‍යාලයට ආවා. සාමාන්‍ය පෙළ විභාගය සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරුවා.

පාසල් සමයේ අමතක නොවන අත්දැකීම මොකක්ද?

අත්දැකීම් ගොඩක් තිබෙනවා. මම තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මගේ අම්මා මියයාම අමතක කළ නොහැකි සිද්ධියක්.

සරසවි අධ්‍යාපනය ලැබුවේ කොහේද?

එවකට සෝවියට් දේශයේ යුක්රේනයේ ලුවොෆ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරුවා.

පළමු වෛද්‍ය පත්වීම ලැබුවේ කොහේටද?

අවිස්සාවේල්ල මූලික රෝහලෙන් සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබුවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ස්ථාපිත කළා. ඒ අනුව මම පන්විල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙත් කුණ්ඩසාලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙසත් රාජකාරි කළා. කුණ්ඩසාලේ සඳහා කාර්යාලයක් තිබුණේ නැහැ. භීෂණ සමයේ ගිනි ගත් දිස්ත්‍රික් සංවර්ධන සභාවේ කාර්යාලය පිළිසකර කර භාවිත කළා.

ඔබ කොලරා සහ බරවා රෝගය මැඬ පැවැත්වීමටත් වෛද්‍යවරයකු ලෙස දායක වුණා නේද?

ඔව්. මම කැලණිය ප්‍රාදේශීය ​ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කරන විට කැලණිය ප්‍රදේශයේ කොලරා වසංගතය තිබුණා. කැලණි ගඟ සහ අවට පැල්පත් රැසක් තිබුණා. මම සෑම තැනම ඇවිදිමින් වසංගතය මර්දනය කරන්න දායක වුණා. පෑලියගොඩ ප්‍රදේශයේ බරවා රෝගය වර්ධනය වූ අවස්ථාවේදී රාත්‍රි කාලයේ නිදර්ශක ලබා ගනිමින් එය පාලනය කිරීමටද දායක වුණා.

වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය හැදෑරුවේ කොහේද?

කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයෙන්. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉගෙන ගත්තා. එහි අවසන් නිබන්ධනයට දායක කර ගත්තේ කැලණියේදී බරවා සහ කොලරාව මර්දනය කළ ආකාරයයි. එමෙන් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධියක් දිනා ගත්තා.

ඔබගේ පවුලේ තොරතුරු?

මම විවාහ වු​ණේ සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබන විට. දැනට දරුවන් දෙදෙනකුගේ පියෙක්. කෝට්ටේ තමයි දැන් පදිංචිය.

වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනයෙන් පසු දුෂ්කර ප්‍රදේශයක රෝහලක් ඔබ තෝරාගත්තේ ඇයි?

මම තෝරා ගත්තේ මැදිරිගිරිය. මගේ සහෝදර වෛද්‍යවරු කීවා ‘‘කොළඹ ඉන්න තියෙද්දී මැදිගිරිය තෝරා ගත්තේ ඇයි? ඔබනම් පිස්සෙක්’’ කියලා. නමුත් මම ඉගෙන ගත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව තවත් ප්‍රගුණ කරමින් ජනතාවට සේවය කිරීමට මැදිරිගිරිය හොඳයි කියා මම තේරුම් ගත්තා. තවද ලෝක බැංකු ආධාර යටතේ මහජන සෞඛ්‍ය ඒකකයක් මැදිගිරියේ ස්ථාපිත කර තිබුණා.

මැදිරිගිරියේ සිටි කාලයේ එල්.ටී.ටී.ඊ. තර්ජනවලට මුහුණ දුන්නද?

මම තරුණ වියේ හිටියේ. මට එය අත්දැකීමක් වුණා. විජයපුරෙන් එහාට මිනිස්සු යන්නෙ නැහැ. මැදිරිගිරියේ නගරයේ මිනිස්සුද කොටි ගහනවට බයේ දුවනවා. අහිංසක ජනතාවට මම උපරිමයෙන්ම සේවය කළා.

වෛද්‍ය පරිපාලන සේවයට ඔබ පත්වූයේ කොහොමද?

බදුල්ල මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස පත්වීම් ලබමින්. ඒ වනවිට මම වෛද්‍ය වෘත්තියට පිවිස වසර හයක කාලයක් ගතවෙලා තිබුණා. වෛද්‍ය අධිකාරිවරයෙක් වීමට වසර අටක පළපුරුද්දක්වත් තිබිය යුතුයි.

පත්වීම ලැබුණට වැඩ භාර ගැනීමට සති දෙකක් බලාගෙන ඉන්න වුණා නේද?

ඔව්. බදුල්ල මහ රෝහලේ වැඩ බැලීමට සිටි වෛද්‍ය අධිකාරිවරයාට පළාතේ මාධ්‍යවේදීන්ගෙන් විරෝධයක් තිබුණා. ඔහු ඉවත් කිරීම සඳහා පෝස්ටර් පවා බදුල්ල නගරයේ අලවා තිබුණා. නව වෛද්‍ය අධිකාරිවරයා ලෙස මම එනවා කියන ආරංචියට ඔවුන් අලුත් පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කළා. ‘‘එම්.එස්. සතියකින් දොට්ට’’ ලෙස එහි සඳහන්ව තිබුණා. එම නිසා හිටපු වෛද්‍ය අධිකාරිවරයා මගෙන් ඉල්ලා සිටියා දෙසතියකට පසු පැමිණ රාජකාරි ආරම්භ කරන්න කියලා. ඒ අනුව තමයි සති දෙකකට පසු වැඩ භාර ගත්තේ.

බදුල්ල මහ රෝහලේ ගෙවපු කාලය කොහොමද?

මම සතුටින්ම රාජකාරි කළ ස්ථානය බදුල්ල මහ රෝහලයි. එය පළාත් සභා රෝහලක්. වෛද්‍ය අධිකාරිවරයාට බලතල ප්‍රමාණවත් නොවන නිසා රෝහල විමධ්‍යගත ඒකකයක් කළ යුතුව තිබුණා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය පර්සි සමරවීර සමග සාකච්ඡා කරලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඌව පළාත් සභාවට ඉදිරිපත් කරලා රෝහල විමධ්‍යගත ඒකකයක් බවට පත් කළා. මීට පෙර එවැනි දෙයක් කරලා තිබුණේ නැහැ. පළමු සහ අවසාන විමධ්‍යගත කිරීම එයයි. අනුරාධපුර මහ රෝහලේද මෙම ප්‍රශ්නයම තිබුණා. නමුත් එය ඉටුවුණේ නැහැ. පසුකාලීනව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් නිමල් සිරිපාල ද සිල්වා මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගත්තා.

බදුල්ල මහ රෝහලෙන් පසු රාජකාරි කළේ කොහේද?

මම 2001 වසරේදී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු හා විකලාංග සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වුණා. 2008 වසරේ අවසානය දක්වා කටයුතු කළා. යුද්ධය තිබුණ කාලේ. ජීවිතයට අත්දැකීම් රැසක් එකතු වුණ කාලයක්. ආපදා කළමනාකරණය ඉගෙන ගත්තේ එම රෝහලේදියි. උතුරු නැගෙනහිර ඇතුළු සෑම ප්‍රදේශයකින්ම බෝම්බ පිපිරීම්, කොටි ප්‍රහාරවලින් තුවාල ලබන සෙබළුන්, අහිංසක ජනතාව ගෙනාවේ කොළඹ ජාතික රෝහලට. පින්ලන්ත රජය විසින් හදිසි අනතුරු ඒකකය සඳහා නව ගොඩනැගිල්ලක් ලබාදීලා අවශ්‍ය පහසුකම්, ක්‍රමවේද ලබාදීම ඉතාම වැදගත්. මම ඊශ්‍රායලය, ඇමරිකාව හා ජපානය යන රටවලදී ආපදා කළමනාකරණ සෞඛ්‍ය විධික්‍රම ගැන පුහුණුවක් ලබා තිබෙනවා.

යුද්ධයෙන් තුවාල ලබා එකවර ගෙන එන රෝගීන් කළමනාකරණය කළේ කොහොමද?

අපි ගොඩනැගිලි පහසුකම් වැඩි කළා. හදිසි ආපදාවකදී රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගත්තා. ආපදාවක් වුණ පසු තීන්දු තීරණ ගන්න බැහැ. මානව සම්පත, ගොඩනැගිලි, ඇඳන් සූදානම් කරන්න ඕනි. ඒ සෑම පියවරක්ම ගත්තා.

කොළඹ ජාතික රෝහලෙන් යළි ස්ථාන මාරුවක් ලැබෙනවා නේද?

ඔව්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධුරයට පත්වුණා. වසර තුනහමාරක් සේවය කළා. මේ කාලයේ වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යාතනයේ සභාපතිවරයා ලෙසද පත්වුණා.

යළි කොළඹ ජාතික රෝහලට පත්වීමක් ලබනවා නේද?

ඔව්. 2012 සිට 2017 දක්වා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වුණා. එම තනතුරට ජාතික රෝහ​ලේ පත්වූ පළමු නිලධාරියා මමයි. ඊට පෙර තිබුණේ අධ්‍යක්ෂ ධුරයක්.

කොළඹ ජාතික රෝහලේදි කළ සේවාවේ අමතක නොවන සිද්ධියක් මතක් කළොත්?

එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂ සමග එකතුව රෝහල් චතුරශ්‍රය වෙනුවට ජාතික සෞඛ්‍ය චතුරශ්‍රය නිර්මාණය කළා. ටවුන්හෝල්, පුංචි බොරැල්ල, මරදාන, සෙන්ට්‍රල් රෝහල, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන පරිශ්‍ර ඇතුළත් කරමින් මෙම චතුරශ්‍රය නිර්මාණය කළා. රෝහලද සංවර්ධනය කෙරුණා.

​ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වුණේ කොහොමද?

එම තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. වැඩිම ලකුණු ලබාගත් මට තනතුර හම්බ වුණා.
2017 දෙසැම්බර් සිට පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරය දක්වා පැමිණෙන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළා.

පළමු කොවිඩ් රැල්ල මර්දනය කිරීමට ඔබට හැකියාව ලැබුණා. කොහොමද ඒක කළේ?

කොවිඩ් වයිරසය පැතිරෙන විට ලෝකයේ කවුරුත් ඒ පිළිබඳ දැනගෙන සිටියේ නැහැ. අපි දන්නෙත් නැහැ. නිරෝධායන පනත යටතේ අවශ්‍ය පියවර ගත්තා. ඒ බලතල යටතේ තමයි මම සෑම දෙයක්ම කළේ. කිසියම් පුද්ගලයකු නිරෝධායනය වන සෑම අවස්ථාවකම සහ පිටවන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අත්සන් කළ යුතුයි. ඒවා කවුරුත් දන්නෙ නැහැ. ලොක්ඩවුන් බලතලත් තියෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට. එක අවස්ථාවකදී ලංකාවම රෝගී ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරලා මම ගැසට් නිවේදනයක් කළා. එය තවම වලංගුයි. ඇතැම් බලතල පොලිස්පති ඇතුළු පොලිසියට විමධ්‍යගත කළා. රාජකාරි පහසුවීම සඳහා.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගෙන් දෛනිකව උපදෙස් ලැබුණද?

ඔව්. මෙම තත්ත්වය බැරෑරුම් විදිහට තේරුම් ගත්තා. කොවිඩ් මර්දන ජාතික වැඩපිළිවෙළක් සකස් කළා. ඒ සඳහා මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළා. දෛනිකව රැස්වීම් පැවැත්වූවා. දුරකථනයෙන් දෛනිකව විමසා අවශ්‍ය පියවර ගත්තා.

ඔබ මාධ්‍ය සන්දර්ශන පවත්වනවා කියා එකල චෝදනාවක් ඉදිරිපත් වුණා නේද?

කොවිඩ් රෝගය ආපදාවක්. ආපදා කළමනාකරණයේදී ප්‍රධානතම දෙය වන්නේ ඒකීය ව්‍යුහයක් තුළ කටයුතු කිරීමයි. අවශ්‍ය නියෝග නිකුත් කළ යුතුයි. වැනෙමින් තීන්දු තීරණ ගන්න බැහැ. සෘජු තීරණ ගත යුතුයි. විශේෂඥයන්ගේ උපදෙස් ලබාගෙන තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි. කොවිඩ් සියලුදෙනාටම අලුත්. මේ නිසා සමාජ මාධ්‍යයේ මිථ්‍යාවල් පතුරුවන්න පටන් ගත්තා. රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන නොදැන විවිධ තොරතුරු සමාජගත වුණා. සම්මත මාධ්‍යයද ඇතැම් අවස්ථාවලදි වැරදි තොරතුරු ලබාදුන්නා. එය වැඩපිළිවෙළට හානියක්. මේ ගැන සාකච්ඡා කරලා හදපු මාධ්‍ය වැඩපිළිවෙළ තමයි ක්‍රියාත්මක කළේ.

කොරෝනා පිළිබඳ තොරතුරු සැඟවූවාද?

කිසිදු තොරතුරක් සැඟවූයේ නැහැ. අවශ්‍ය තොරතුරු සියල්ල ලබාදුන්නා. සම්මත මාධ්‍ය තුළ ප්‍රධාන ප්‍රවෘත්තිය අපි දුන්නම සමාජ මාධ්‍යයේද එය නිවැරදිව පළ කළා. විවිධ තැන්වලින් තොරතුරු ලබා ගැනීම නතර වුණා. රාජ්‍ය ආයතනවලින් ලබාදෙන පණිවුඩය විශ්වාස කරන්න පටන් ගත්තා. අපි කැපවෙලා කටයුතු කරන බව ජනතාව විශ්වාස කරන්න පටන් ගත්තා. මාධ්‍ය සමග කටයුතු කරමින් අවදානම ජනතාවට කියා දුන්නා. නිසි සන්නිවේදනයක් සිදුනොවුණහොත් සමස්ත වැඩපිළිවෙළටද හානියක්.

ඒ කාලේ දුරකථන ඇමතුම් කොච්චර එනවද?

දුරකථන ඇමතුම් උදේ ඉඳලා රෑ වෙනකම් ආවා. මම හැම ඇමතුමකටම ආන්සර් කළේ නැහැ. එහෙම වුණොත් මම කෝල් සෙන්ටර් එකක් වෙනවා. මාධ්‍යයටත් කතා කළේ වෙලාවල් සකස් කරගෙන. අවශ්‍ය කෝල්වලට ආන්සර් කළා.

​ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරය නැති වුණේ ඇයි?

රජයේ කැබිනට් අමාත්‍යාංශ විසිඅටෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නම් කෙරුණා. එය උසස්වීමක්. වෙන දෙයක් නැහැ. ජනාධිපතිතුමා තමයි පත් කළේ. සතුටින් භාර ගත්තා.

ඔබ අලුත් අමාත්‍යාංශයක රාජකාරි කළද කොවිඩ් මර්දන වැඩපිළිවෙළට ඔබගේ දායකත්වය ලබා ගන්නවා කියලා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. එය ඉටු වුණාද?

නැහැ. මෙතෙක් කැඳවීමක් ලැබිලා නැහැ.

කොවිඩ් මර්දනයට හොඳ පැණියද? එන්නතද?

ලෝකයම රෝගය සමග සටන් කරනවා. අපි කැමැති වුණත් අකැමැති වුණත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් කරගෙන ප්‍රතිකාර ක්‍රම ලෝකයම සොයනවා. ඉන් පරිබාහිරව රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රම සොයන්න බැහැ. අපිට පෞද්ගලික හැටියට විවිධ අත්හදා බැලීම් කරන්න පුළුවන්. රටක් හැටියට මුහුණ දීමේදී දන්න විද්‍යාව අනුව කටයුතු කළ යුතුයි. මෙවැනි රෝගාබාධ ආවම විවිධ අය මතුවෙනවා. නමුත් ධම්මික පැණිය නම් අපට තියෙන තොරතුරු අනුව කිසිදු වැදගත්කමක් නැහැ. ජනතාව මුළා කරන පැණියක් විතරයි.

මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබෙනවා. ඔබ ඉදිරිපත් කරන විසඳුම කුමක්ද?

අප්‍රේල් මාසයේ මා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තවම වලංගුයි. කොවිඩ් ආරම්භයේදී පැවැති තත්ත්වය අනුව තමයි මෘතදේහ සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබාගත්තේ. කොවිඩ් වැඩපිළිවෙළේදී අපි අවදානමක් නොගත යුතුයි. මාස හයකට පසු එළැඹෙන තත්ත්වයන් මත විද්‍යාත්මක සාධක පදනම් කරගෙන මෙය සංශෝධනය කළ හැකි බව ගැසට් නිවේදනයේ තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුයි.
මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේ නැද්ද?

සාකච්ඡා කළා එය මාධ්‍යට අනවශ්‍යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඇතැම් තීරණ ගැනීමේදී බාධා ඇතිවුණේ නැද්ද?

ඇතැම් තීන්දු තීරණ ගන්නකොට අභියෝගවලට මුහුණ දෙන්න වේවි. ආපදා කළමනාකරණයේදී සෘජු තීන්දු තීරණ ගත යුතුයි.

ඔබ මාධ්‍ය සංදර්ශන කරනවා කියලා එදා ඔබට චෝදනා කළ අය සෞඛ්‍ය ලේකම් පුටුවට ඔබ සුදුසු බව අද යෝජනා කරනවා නේද?

මම ඒ ගැන මොකුත් කියන්නෙ නැහැ. මගේ පෞද්ගලික දේවල් ගැන කතා කරන්න කැමැති නැහැ.

කොරෝනා සමග සටන් කළාට පරිසර ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන්න පුළුවන්ද?

පරිසර ප්‍රශ්නවලට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. පොළොවෙන් මතුවන සම්පත් විනාශ නොකර සංවර්ධනයට සහ ජනතාවට ලබා දිය යුතුයි. එහිදී පරිසර විනාශය අවම කළ යුතුයි. පරිසර ප්‍රශ්න එකිනෙක විසඳමින් සිටිනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇත්තටම දූෂිතද?

විමර්ශනයක් කරනවා. ප්‍රතිඵල ලැබුණ පසු බලමු.

ඔබ සිනමාලෝලියෙක් බව ආරංචියි?

ඔව්. ඇත්තටම කිව්වොත් මම චිත්‍රපට පිස්සෙක්. ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ කොළඹ තියෙන සිනමාශාලාවලට රිංගලා තමයි එය ඇතිවුණේ.

උදයජීව ඒකනායක

‘අරුණ’