Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

කොරේ පිටට මරේ කීවාක් මෙන් කොවිඩ් වසංගතයෙන් අන්තයටම බැටකමින් සිටි මියන්මාරයේ හුදී ජනයාට දැන් නැවතත් බටහිර ආර්ථික සම්බාධකවල පීඩනයට ලක්වන්නට සිදුව තිබේ. ඒ මියන්මාරයේ හමුදාව කුමන්ත්‍රණයකින් එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ඇතුළු මැතිවරණයෙන් පත්වූ නායකයින් අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් පිහිටුවීම නිසාය.

1962 සිට 2011 දක්වා හමුදා පාලනය යටතේ පැවති මියැන්මාරය ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස භුක්ති විඳින්නට වූයේ වසර 49කට පසුවය. යාන්තම් වසර 10කට පසුව දැන් නැවතත් එරට මිලිටරි කරැමයකට නතුවීම ගැන අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයද ඇතුළත් ලොව බලවත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිය බලවත් විරෝධය එල්ල කර තිබේ. සාමාන්‍යයෙන් අභ්‍යන්තර ගැටලු යැයි එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිහඬ වන චීනය, සියලු පාර්ශව එක්ව ගැටලුව විසඳාගත යුතු යැයි උපදෙස් දී තිබිණ. එරටට එරෙහිව නැවත සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිටද අනතුරැ අඟවා හමාරය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරැව පළමුවරට ඉකුත් සඳුදා එරට පාර්ලිමේන්තුව රුස්වීමට නියමිතව තිබියදී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුකී මෙන්ම එරට ජනාධිපති ඇතුළු දේශපාලන නායකයින් බලයෙන් පහකර පාන්දර 2.40ට පමණ අත්අඩංගුවට ගත් මියන්මාර හමුදාවේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා වන, මින් අන්ග් හලින්ග්, හමුදා කුමන්ත්‍රණයකින් එරට පාලන බලය අල්ලා ගැනීමට කටයුතු කළේය. ඒ සමඟම නව ඇමතිවරැන් ගණනාවක්ද පත්කරනු ලැබුවේය. ප්‍රාන්ත සහ ජාතික අධිකරණ පද්ධතියෙහි විනිසුරැවරැන් සියල්ලන්ද, මියන්මාර දූෂණ විරෝධී කොමිසමෙහි සහ මානව හිමිකම් කොමිසමෙහි සියලු සාමාජිකයින්ද නැවත පත්කළ බව ප්‍රකාශ කෙරිණි. ඉදිරියේදී මැතිවරණයක් පවත්වා නීත්‍යානුකූල ආණ්ඩුවක් තහවුරැ කරන තෙක් අවුරැද්දක කාලයකට හදිසි නීතිය පනවනු ලැබිණි.

රටේ ජනාධිපති කොවිඩ් නිරෝධායන නීති කැඩූ බවට චෝදනා කර අත්අඩංගුවට ගෙන තිබේ. ආනයන අපනයන නීති උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධී සන්නිවේදන උපකරණ සිය භාරයේ තබාගෙන සිටීම යන චෝදනා යටතේ මියන්මාරයේ නිල නොලත් පාලකයා ලෙස සැලකුණු රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව වන අවුන්සාන් සුකී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පෙබරවාරි 15 වැනිදා දක්වා රඳවාගෙන ඇති බව පොලිස් වාර්තා අනුව හෙළිව ඇත. ඇය රඳවා සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් පැහැදිලි නොමැති වුවද සමහර වාර්තා පවසන්නේ මියන්මාර අගනගරයේ – නෙයි පී තාවු – හි පිහිටි ඇයගේ නිවසේ අවුන් සාන් සුකීව රඳවා ඇති බවය.

මේ වනවිටද රටේ විරෝධතා සහ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. එරට ආර්ථිකයේ විදේශ ආයෝජන අවදානමට ලක් වී ඇති අතර බැංකු සහ කඩ සාප්පු අසල දිග පෝලිම්ද දක්නට ලැබෙයි. හමුදාව බලය අල්ලා ගැනීමට එරෙහිව එරට වැසියන් තම නිවාසවලට වී හට්ටි වළං හඬවමින් සහ වීදිවල සිටින රියැදුරන් තම වාහනවල නලා නාදකරමින් විරෝධය පළකරනු දක්නට හැකිය. මීට අමතරව ප්‍රධාන නගරවල වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩවර්ජනයට සූදානම් වෙමින් සිටින අතර මිලිටරි ආණ්ඩුවට අවනත නොවීමේ ක්‍රියාමාර්ගවලට සිවිල් ක්‍රියාකාරීහු පෙළගැසෙමින් සිටිති. මේ වනවිට මියැන්මාරය තුළ ‍ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් අවහිර කිරීමට එරට හමුදා පාලනය පියවරගෙන තිබේ. එරට තුළ වැඩිවශයෙන් භාවිතා වන ෆේස්බුක් හරහා හමුදා පාලනය පිළිබඳව ප්‍රබල විරෝධයක් එල්ලවීම හා විරෝධතා සංවිධානය කිරීම යන කරැණු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. නමුත් දැනටමත් හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ විරෝධතා පැවැත්වෙමින් ඇති අතර විරෝධතාවල නිරත වූ පුද්ගලයින් කිහිපදෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ කෙසේ වෙතත් හමුදාව ක්‍රමයෙන් බලය සුරක්ෂිත කරගනිමින් සිටිති.

හදිසි නීතිය පැනවූ වහාම සම්බාධක හේතුවෙන් කඩාවැටෙන්නට නියමිත රටේ ආර්ථිකය ගොඩගැනීමේ සටනට මිලිටරි හිතවාදී ඇමැතිවරැ තිදෙනෙක් පත්කිරීමට හමුදාව පියවර ගෙන තිබේ. සැලසුම් මූල්‍ය සහ කර්මාන්ත ඇමැති ලෙස යු වින් ෂීන්ද, විදෙස් ආර්ථික සබඳතා සහ ආයෝජන ඇමැති ලෙස යූ අවුන්ග් නායින්ග් ඌද පත්කර ඇත. මහ බැංකු අධිපති ලෙස යූ තාන් නියෙන් පත්කර තිබේ. මේ තිදෙනාම 2011ට පෙර මිලිටරි පාලන කාලයේ ප්‍රධානත්වය දැරූ සිය විෂයය පිළිබඳ නිපුණත්වයක් සහිත අයය. නව බල අරගලයට මූලික වූ 64 හැවිරිදි ජෙනරාල්වරයා හමුදාවට එක්වී ඇත්තේ කැඩෙට් නිලධාරියෙක් ලෙසිනි. යැන්ගොන් විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් වන ඔහු ආරක්ෂක සේවා විද්‍යයාතනයට 1974 දී එක්වී ඇත්තේ තෙවැනි උත්සාහයේදීය. පාබල හමුදාවේ සාමාජිකයෙක් වූ, මින් අන්ග්, ක්‍රමානුකූලව හමුදාව තුළ ඉහළට ගොස් 2009 වසරේදී, විශේෂ ක්‍රියාන්විත කාර්යාංශය-2, නම් හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස උසස්වීමක් ලැබීය. 2010 වසරේදී මියන්මාර හමුදාවේ, කාර්ය මණ්ඩල ප්‍රධානියා, ලෙස පත්වීම් ලැබූ ඔහු 2011 වසරේදී එරට හමුදා ප්‍රධානියා බවට පත්වීම් ලැබීය. ඒ වනවිට මියැන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වෙමින් පැවතියද හමුදාවේ බලපෑම් අඩුවීමට, මින් අන්ග්, ඉඩ නොදුනි. සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධයටද ලක්වී සිටින්නෙකි.

සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි